2. 3. 10.
උදායි සූත්‍රය
576. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුමන දනව්වෙහි ශෙවතක නම් සුම්හයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, අසිරියෙකි. වහන්ස, පුදුමයෙකි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ මාගේ ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් කෙතෙක් බුහුමන් කරන ලද ද, වහන්ස, මම පෙර ගිහි වූයෙම් ම දහමින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. සඟන විසින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් දකිමින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ “රූපය මෙසේ ය, රූපයේ හටගැන්ම මෙසේ ය, රූපයේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනාව මෙසේ ය ... සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය ... විඥානයේ හටගැන්ම මෙසේ ය ... විඥානයේ අස්තඞ්ගමය මෙසේ ය යි දහම් දෙසූ සේක.
වහන්ස, ඒ මම් ශුන්‍යාගාරයට ගියෙම් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය සම්මර්‍ශන කෙරෙමින් මේ (පඤ්චස්කන්‍ධය) දුක’යි තතුසේ දැනැගතිමි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදයැ”යි තතු සේ දැනැ ගතිමි. මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධැයැ’යි තතුසේ දැනැ ගතිමි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි තතුසේ දැනැගතිමි. වහන්ස, මා විසින් (විදර්‍ශනා) ධර්‍ම ද අවබෝධ කරන ලද යැ. (විදර්‍ශනා) මාර්‍ගය ද ලබන ලදි. මා විසින් යම් ධර්‍ම මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වේ ද (හෙ) ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති” යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ: වහන්ස, මා විසින් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ලබන ලද යැ. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරනලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ. … වහන්ස, මා විසින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග ලබන ලද. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බවට අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ. වහන්ස, මා විසින් මේ මාර්‍ගය ලබන ලද. මා විසින් යම් මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද මෙ අත්බවට අන් කිසෙක් නැතැ” යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ” යි.
උදායි, මැනවි, මැනවි. උදායි, මේ මග තොප විසින් පිළිලදී. යමෙක් තොප විසින් වඩන ලද ද, බහුල කරන ලද ද, (එය) “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනිකක් නැත” යි යම්සේ තෙපි දැනගන්නහු නම් එසේ එසේ වෙසෙන තොප ඒ බැව් පිණිස පමුණුවන්නේ යි.
තෙවෙනි උදායීවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
බෝධාය, දේසනා, ඨාන, යෝනිසෝ, අපරිහානිය, ඛය, නිරෝධ, නිබ්බේධ, ඒකධම්ම, උදායි ය යි සූත්‍ර දසයකි යි.