12. 7. 2.
පච්චන්ත සූත්‍රය
3904. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 3.
පඤ්ඤා සූත්‍රය
3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්‍ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්‍වාගත වෙත් නම් ඒ සත්‍වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්‍වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 4.
සුරාමේරය සූත්‍රය
3906. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 5.
ඔදකජ සූත්‍රය
3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 6.
මත්තෙය්‍ය සූත්‍රය
3908. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 7.
පෙත්තෙය්‍ය සූත්‍රය
3909. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 7. 8.
සාමඤ්ඤ සූත්‍රය
3910. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.