12. 4. 9.
ඉන්‍දඛීල සූත්‍රය
3881. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. මහණෙනි, යම්සේ සැහැල්ලු වූ වාගන්නා හිඹුල්පුලුන හෝ කපුපුලුන හෝ සමබිමක තබන ලද්දේ වේ ද, ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට ගෙනයන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට ගෙනයන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට ගෙනයන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට ගෙනයන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, කපුපුලුන සැහැල්ලු බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් නුදුටු බැවිනි.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළ දිගින් ... ඉදිනුදු උතුරු දිගින් ... ඉදිනුදු දකුණුදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි. හිම්කණුව මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතුසේ දනිද්ද, ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් මැනවින් දුටු බැවිනි. කවර සිවුඅරීසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුඃඛ යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 10.
වාද සූත්‍රය
3882. මහණෙනි, යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ඉදුනුදු දොස් කැමති දොස් සොයනසුලු මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණුදිගින් එන්නේ නම් කරුණු සහිතව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ සොළොස්හත් ගැල්ටැඹෙක් වේ ද එහි අටහතෙක් වළ යටට ගියේ ය. අටහතෙක් වළ මතුයෙහි සිටියේ ය. ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නොම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදිනුදු දකුණුදිගින් දැඩි සුළඟෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. නො ම වෙසෙසින් සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි ගල්ටැඹ මැනවින් සිටුවන ලද බැවිනි.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණු දිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය ය මැනවින් දුටුබැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍ය යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
සිවුවැනි සිංසපාවන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත, පාණ යී සයෙක් ද සුරියෝපම සුතුරු දෙකෙක් ද ඉන්‍ද්‍රකීල වාද යී දෙකෙක් දැ යී මුළුල්ල දශයෙකි යි.