12. 4. 10.
වාද සූත්රය
3882. මහණෙනි, යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ඉදුනුදු දොස් කැමති දොස් සොයනසුලු මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණුදිගින් එන්නේ නම් කරුණු සහිතව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ සොළොස්හත් ගැල්ටැඹෙක් වේ ද එහි අටහතෙක් වළ යටට ගියේ ය. අටහතෙක් වළ මතුයෙහි සිටියේ ය. ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නොම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදිනුදු දකුණුදිගින් දැඩි සුළඟෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. නො ම වෙසෙසින් සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි ගල්ටැඹ මැනවින් සිටුවන ලද බැවිනි.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණු දිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්ය්යසත්ය ය මැනවින් දුටුබැවිනි. කවර චතුරාර්ය්යසත්ය යත්: “දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යී වීර්ය්ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්ය්ය කටයුතු යි.
සිවුවැනි සිංසපාවන වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
සිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත, පාණ යී සයෙක් ද සුරියෝපම සුතුරු දෙකෙක් ද ඉන්ද්රකීල වාද යී දෙකෙක් දැ යී මුළුල්ල දශයෙකි යි.
5. පපාත වර්ගය
12. 5. 1.
චින්තා සූත්රය
3883. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹියේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි.
මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි. හිමියනි, මම නම් පහ වූ සිතිවිලි ඇත්තෙක්මි” යි මහදනමුළුවට සැලකෙළේ ය. එම්බා පුරුෂය ඒ කෙසේ නම් තෝ උමතුවෙක් වෙහි ද? කෙසේ පහ වූ සිතිවිලි ඇත්තෙක් වෙහි ද? ලොව නැති කිමෙක් තා විසින් දක්නා ලද දැ යි? හිමියනි, “මෙහි මම රජගහනුවරින් නික්ම “ලෝසිතිවිලි සිතන්නෙමි” යි “සුමාගවා” පොකුණ වෙත එළඹියෙමි. එළඹ “සුමාගවා” පොකුණු තෙර ලෝසිතිවිලි සිතමින් හුන්නෙමි. හිමියනි, මම සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනග දිටිමි. හිමියනි, මෙසේ මම උමතුවෙක්මි. මෙසේ පහ ව ගිය සිතිවිලි ඇත්තෙක්මි ලොව නැති මෙ ද මා විසින් දක්නා ලදැ”යි, එම්බා පුරුෂය, තෝ ඒකාන්තයෙන් උමතුවෙකි, ඒකාන්තයෙන් පහ ව ගිය සිතිවිලි ඇත්තෙකි. ලොව නැති මෙ ද තා විසින් දක්නා ලදැ යි. මහණෙනි, ඒ පුරිස් තෙමේ ඒ වූවක් ම දිටි. නුවූවෙක් නො වේ.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවියන් හා අසුරයන් අතර යුදධක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණු අසුරයෝ බියපත් වූවාහු දෙවියන්ගේ සිත් මුළා කරවමින් ම නෙළුඹුදැලියෙන් අසුර පුරයට පිවිසියහ. මහණෙනි, එහෙයින් මෙහි ලා “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය අශාශ්වත ය” යි හෝ “ලෝකය අන්තවත් ය” යි හෝ “ලෝකය අනන්තවත් ය” යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක ශරීරය අනෙකකැ” යි හෝ “සත්ත්වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි. ලෝ සිතිවිලි නහමක් සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිලි වැඩ සහිත නො වේ. මගබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී නිරෝධය පිණිස නො පවතී ව්යූපශමය පිණිස නො පවතී අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී නිර්වාණය පිණිස නො පවතී.