12. 4. 2.
ඛදිර සූත්රය
3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්ය්යසත්යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්ය්යසත්ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්ය්යසත්ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්ය්යසත්ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙකුත් “මම දුඃඛාර්ය්යසත්ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්ය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, යම්සේ යමෙක් “මම පියුම්පතින් හෝ කෑලපතින් හෝ මාලුවාපතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත් ද, මහණෙනි, එසෙයින්ම යමෙක් “මම දුඃඛාර්ය්යසත්ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යී වීර්ය්ය කටයුතු ... “මේ දුක් ගෙවීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්ය්ය කටයුතු යි.
12. 4. 3.
දණ්ඩ සූත්රය
3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්ය්යසත්ය නුදුටු බැවිනි. කවර චතුරාර්ය්යසත්යයෙක යත්: “දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්රතිපදාර්ය්යසත්ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්ය්ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්ය්ය කටයුතු යි.
12. 4. 4.
චෙල සූත්රය
3876. මහණෙනි, “වස්ත්රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්රඡන්දයත් ව්යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්ය්යසත්යය අවබෝධ කරනු පිණිස අධිමාත්රඡන්දයත් ව්යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්ය්යසත්යයක යත්: “දුඃඛාර්ය්යසත්ය ය ... දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්ය්ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්රතිපදා” යි වීර්ය්ය කටයුතු යි.