12. 4. 3.
දණ්ඩ සූත්‍රය
3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්‍වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 4.
චෙල සූත්‍රය
3876. මහණෙනි, “වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනු පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 5.
සත්තිසත සූත්‍රය
3877. මහණෙනි, “යම්සේ වස් සියයක් ආයු ඇති වස් සියයක් ජීවත්වනසුලු පුරුෂයෙක් වේ ද, තෙල මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බා පුරුෂය, එව. පෙරවරු තා සැත් සියයෙකින් පෙළන්නාහ. මද්දහන සැත් සියයෙකින් පෙළන්නාහ. පස්වරු සැත් සියයෙකින් පෙළන්නාහ. එම්බා පුරුෂය, ඒ තෝ දවස් පතා තුන් තුන් සැත් සියයෙන් පෙළනු ලබන්නේ වස් සියයක් ආයු ඇත්තේ වස් සියයක් ජීවත්වනසුලු වූයේ වස් සියය ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරන්නෙහි” යි. මහණෙනි, අනුසස් දක්නා කුලපුතු විසින් එළඹෙන්නට සුදුසු යි. ඒ කවර හෙයින යත්: “මහණෙනි, මෙසසර නොදත් අක්මුල් ඇත්තේ ය. සැත්පහර කඩුපහර පිළිබඳ පෙරපසු කෙළවරෙක් නො පෙනේ. මහණෙනි, මෙය මෙසේත් වන්නේ ය: “මහණෙනි, මම සදුක් ව සදොම්නස් ව සිවුඅරීසස් අවබෝධයක් නො ම කියමි. මහණෙනි, වැලිදු මම සුව සහිත ව සොම්නස් සහිත ව සිවුඅරීසස් අවබෝධ කිරීම් කියමි. කවර සිවුසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාරියසච්ච” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 6.
පාණ සූත්‍රය
3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේ ය. යම් කෙනෙක් හුල්හි අමුණන්නට සුකර නො වෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් ප්‍රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, අත්බැව සියුම් බැවිනි.” මහණෙනි, අපාය මෙසේ මහත් ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දිටුසපන් පුඟුල් තෙමේ මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.