12. 4. 1.
සිංසපා සූත්‍රය
3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.
මහණෙනි, කිමෙක් මා විසින් කියන ලද ද යත්: මහණෙනි, මේ දුකැ යි මා විසින් කියන ලදී. මේ දුක් හටගැනුමැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මේ කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත ය. මෙය මඟ බඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් එය මා විසින් කියන ලදී. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 2.
ඛදිර සූත්‍රය
3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
මහණෙනි, යමෙකුත් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, යම්සේ යමෙක් “මම පියුම්පතින් හෝ කෑලපතින් හෝ මාලුවාපතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත් ද, මහණෙනි, එසෙයින්ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් ගෙවීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 3.
දණ්ඩ සූත්‍රය
3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්‍වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 4. 4.
චෙල සූත්‍රය
3876. මහණෙනි, “වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනු පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.