12. 3. 4.
අරහන්ත සූත්‍රය
3866. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කළාහ. මහණෙනි, මතු කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කරන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කරන්නාහ. මහණෙනි, මෙකල යම් කිසි අර්‍හත් සම්මා සමබුදුවරයෝ තතු සේ අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මා සම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 5.
ආසවක්ඛය සූත්‍රය
3867. මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුගේ නො කියමි. නො දක්නහුගේ නො කියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, මේ දුකැ යි දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 6.
මිත්ත සූත්‍රය
3868. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතු ය. වැස්වියයුතු ය. පිහිටුවිය යුතු ය. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් මේ සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවියයුතු ය, වැස්වියයුතු ය, පිහිටුවිය යුතුය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 7.
තථ සූත්‍රය
3869. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර තථ්‍ය ය, නො වෙනස්වනසුලු ය, අන් පරිදි නො වනසුලු ය. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 3. 8.
ලෝක සූත්‍රය
3870. මහණෙනි, මේ අරීසස් සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි තථාගතයන් ආර්‍ය්‍යහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.