12. 2. 2.
තථාගත සූත්‍රය
3854. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දත යුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය ප්‍රහාණය කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... ප්‍රහාණය කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය.
මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ වී ය යි.
12. 2. 3.
ඛන්‍ධ සූත්‍රය
3855. මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: පස් උපාදානස්කන්‍ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.