12. 1. 9.
විග්ගාහිකකථා සූත්‍රය
3851. මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නාහු නම් “මේ දුක්ඛ”යි කියවු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 10.
තිරච්ඡානකථා සූත්‍රය
3852. මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්‍ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, (කුම්භදාසීන් පිළිබඳ කථා) ඉකුත් නෑයන් පිළිබඳ කථා, නානාස්වභාව ඇති කථා, ලෝකනිර්‍මාණය පිළිබඳ කථා, සමුදුර හටගැනීම පිළිබඳ කථා (ශාශ්වත උච්ඡේද ආදි) භවාභව කථා හෝ” යි. එ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නහු නම් “මේ දුක්ඛ”යි කියවු. “මේ දුක්ඛසමුදය”යී කියවු. “මේ දුක්ඛනිරෝධ”යි කියවු. මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛ සමුදය” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
පළමුවැනි සමාධිවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සමාධි, පටිසල්ලාන යී දෙසුතුරෙකි. අනෙක් කුලපුත්ත සුතුරු දෙකෙකි. සමණබ්‍රාහ්මණ සුතුරු දු දෙකෙකි. විතක්ක, චින්තා, විග්ගාහිකකථා, තිරච්ඡානකථා යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.