12. 1. 10.
තිරච්ඡානකථා සූත්‍රය
3852. මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්‍ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, (කුම්භදාසීන් පිළිබඳ කථා) ඉකුත් නෑයන් පිළිබඳ කථා, නානාස්වභාව ඇති කථා, ලෝකනිර්‍මාණය පිළිබඳ කථා, සමුදුර හටගැනීම පිළිබඳ කථා (ශාශ්වත උච්ඡේද ආදි) භවාභව කථා හෝ” යි. එ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නහු නම් “මේ දුක්ඛ”යි කියවු. “මේ දුක්ඛසමුදය”යී කියවු. “මේ දුක්ඛනිරෝධ”යි කියවු. මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛ සමුදය” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
පළමුවැනි සමාධිවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සමාධි, පටිසල්ලාන යී දෙසුතුරෙකි. අනෙක් කුලපුත්ත සුතුරු දෙකෙකි. සමණබ්‍රාහ්මණ සුතුරු දු දෙකෙකි. විතක්ක, චින්තා, විග්ගාහිකකථා, තිරච්ඡානකථා යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
2. ධම්මචක්කප්පවත්තන වර්‍ගය
12. 2. 1.
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
3853. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම්: “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡේද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.