11. 5. 3.
තතිය අසඞේඛය්ය සූත්රය
3811. මහණෙනි, සුවයට ප්රත්යය වූ මේ පුණ්යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට පසය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ නුවණැතියේ වෙයි. උදයව්යයය පිරිසිඳ දැනුමට පමුණුවන සුලු ආර්ය්ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්රඥායෙන් සමන්වාගත වෙයි. මේ සුවයට පසය වූ සිවු පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මොහු සුවයට පසය වූ සිවු පින්ගඟහු ය, කුසල්ගඟහු ය. මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට පසය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
පින් කැමති මඟකුසල්හි පිහිටි යමෙක් නිවනට පැමිණෙනු පිණිස රහත්මඟ වඩා ද, පිළිලද අරීපෙළ දහම්හර ඇති හෙතෙමේ කෙලෙස් ක්ෂය කිරීමෙහි ඇලුණේ මරරජ පැමිණෙන්නේ යි නො සැලේ යි.
11. 5. 4.
අඩ්ඪ සූත්රය
3812. මහණෙනි, සිවු දහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ යි.
11. 5. 5.
දුතිය අඩ්ඪ සූත්රය
3813. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු “ආඪ්ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ ය. මහත් යශස් ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මේ සිවු දහමින් සමන්වාගත ආර්ය්යශ්රාවක තෙමේ “ආඪ්ය ය. මහද්ධන ඇත්තේ ය. මහත්භෝග ඇත්තේ ය. මහත්යශස් ඇත්තේ”යි කියනු ලැබේ.
11. 5. 6.
සුද්ධක සූත්රය
3814. මහණෙනි, මේ සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි කියනු ලැබේ යි.
11. 5. 7.
නන්දිය සූත්රය
3815. එක්සමයෙක භාග්යවතුන් වහන්සේ ශාක්ය දනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්දිය ශාක්යහට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: නන්දිය, සිවු දහමෙකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්දිය, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. නන්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.