11. 4. 10.
නන්දිය සූත්රය
3808. එක්කලෙක භාග්යවතුන් වහන්සේ ශාක්යදනව්වෙහි කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්යතෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්දිය ශාක්ය තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “යම් ම අරීසව්වකුහට සිවු සෝවන්අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද වහන්ස, ඒ අරීසවුතෙමේ ම පමාවිහරණ ඇත්තේ දැ”යි?
නන්දිය, “යමකුට සිවු සෝවන් අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද, ඔහු බාහිර වූ පුහුදුන්පසෙහි සිටියෙකැ”යි මම කියමි. නන්දිය, වැලිදු අරීසවුතෙමේ යම්සේ පමාවිහරණ ඇත්තේත් නො පමා විහරණ ඇත්තේත් වේ නම් එය අස. නන්දිය, අරීසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේ ද යත්: නන්දිය, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සතුටු වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජ (තරුණප්රීති)ය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්රීතිය නො වේ. ප්රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නොවූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
නන්දිය, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ දහම්හි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්තනික වූ ආර්ය්යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ ඒ ආර්ය්යකාන්තශීලයෙන් සතුටු වූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්රීතිය නො වේ. ප්රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවේ. සිත එකඟ නො වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ. නන්දිය, මෙසේ අරීසවුතෙමේ පමාවිහරණ ඇත්තේ වේ.
නන්දිය, අරීසවුතෙමේ කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: නන්දිය මෙහි අරීසවුතෙමේ “ඒ භාග්යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්රසාදයෙන් සමන්වාගත වෙයි. හෙතෙමේ බුදුන් කෙරෙහි වූ ඒ අචලප්රසාදයෙන් සතුටු නොවූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමා ව වෙසෙන ඔහුට ප්රමුදිතභාවය උපදී. ප්රමුදිත වූවහුට ප්රීතිය උපදි. ප්රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනාදහම් පහළ වේ. දහම් පහළවීමෙන් “නොපමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
නන්දිය, නැවත අනිකක් ද කියමි. අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්ය්යකාන්ත ශීලයෙන් සතුටු නො වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමාව වෙසෙන ඔහුට ප්රමුදිතභාවය උපදී. ප්රමුදිත වූවහුට ප්රීතිය උපදී. ප්රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ වේ. දහම් පහළ වීමෙන් නො පමා විහරණ ඇත්තේ යයි ම ගිණුමට යේ. නන්දිය, මෙසේ අරීසවුතෙමේ නො පමා විහරණ ඇත්තේ වේ යි.
සිවුවැනි පුඤ්ඤාභිසන්ද වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අභිසන්දසුතුරු තුනෙක් ද, දේවපදසුතුරු දෙකෙක් ද, සභාගත, මහානාම, වස්ස, කාලිගෝධා, නන්දිය යි පසෙක් දැ යි දස සුතුරු කෙනෙක් කියන ලදහ යි.