11. 2. 3.
ආනන්‍ද සූත්‍රය
3781. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමග සතුටු වූහ ... සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි?
ඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර සිවුදහමෙකින යත්: ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් දහම්හි, එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, දහම්හි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් සඟන කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, යම්බඳු දුසිල්බවෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් ඔහුට නැත. ඇවැත්නි, යම් බඳු ආර්‍ය්‍යකාන්නශීලයන්ගෙන් සමන්‍වාගත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ එබඳුආර්‍ය්‍යකාන්තශීලයෝ ඔහුට වෙති. ඇවැත්නි, මේ සිවුදහම් දුරැලීමෙන් මේ සිවුදහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැයී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
11. 2. 4.
දුග්ගති සූත්‍රය
3782. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වේ යි.
11. 2. 5.
විනිපාත සූත්‍රය
3783. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිවිනිපාතබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භාග්‍යවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමෙන් යුතු අරීසවු සියලු දුගති විනිපාතබිය ඉක්ම වූයේ වේ යි.
11. 2. 6.
මිත්තාමච්ච සූත්‍රය
3784. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය.