11. 2. 1.
සහස්ස සූත්‍රය
3779. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි රාජකාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සහසක් මෙහෙණසඟන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ මෙහෙණනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මෙහෙණනි, සිවුදහමකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවුදහමකින යත්: මෙහෙණනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲ හ, බුද්ධාය හ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මෙහෙණනි, මේ සිවුදහමින් යුතු අරීසවු විවස ව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 2. 2.
බ්‍රාහ්මණ සූත්‍රය
3780. මහණෙනි, බමුණෝ උදයගාමිනී නම් පටිපදාවක් පනවත්. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෙපි කලින් ම නැගිට පෙරදිගට මුහුණ ලා යවු. ඒ තෙපි හෙබ නහමක් දුරු කරවු. බෑවුම නහමක් දුරු කරවු. කණුව නහමක් දුරු කරවු. කටුබිම නහමක් දුරු කරවු. අසුචිසොරොව්ව නහමක් දුරු කරවු. ගම්දොර ගවරවළ නහමක් දුරු කරවු. යම් තැනෙක වැටෙන්නහු නම් එහි ම මරණයට පැමිණෙන්නහු එම්බා පුරුෂය, මෙසේ තෙපි කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණෙන්නහු”යි මහණෙනි, ඒ මෙය බමුණන්ගේ බාල ගමනෙකි. මෙය මෝඩ ගමනෙකි. මෙය නිර්වේදය පිණිස නො පවතියි. විරාගය පිණිස නො පවතියි. නිරෝධය පිණිස නො පවතියි. ව්‍යුපසමය පිණිස නො පවතියි. අභිඥානය පිණිස නො පවති යි සම්බෝධිය පිණිස නො පවතියි. නිර්‍වාණය පිණිස නො පවතියි.
මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මමත් අරීසසුන්හි (එබඳු) උදයගාමිනී පටිපදාවක් පනවමි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය පිණිස ... නිර්‍වාණය පිණිස පවතී නම් ඒ උදයගාමිනීපටිපදාව කවර යත්: මහණෙනි, මෙහි අරීසවු මෙකරුණෙනුදු … “දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මේ ඒ උදයගාමිනී පටිපදාව යි.
11. 2. 3.
ආනන්‍ද සූත්‍රය
3781. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමග සතුටු වූහ ... සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි?
ඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර සිවුදහමෙකින යත්: ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් දහම්හි, එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, දහම්හි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් සඟන කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.