11. 1. 4.
සාරිපුත්ත සූත්‍රය
3772. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් දැ”යි.
ඇවැත්නි, සිවුදහමකින් යුතුවීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සිවුදහමෙකින් ද යත්: ඇවැත්නි, මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ බුද්ධ හ භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අඛණ්ඩ වු ... සමාධි සංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මේ සිවුදහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
11. 1. 5.
දුතිය සාරිපුත්ත සූත්‍රය
3773. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ”යි. වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි”යි. සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි.
සාරිපුත්ත, සෝතය සෝත ය”යි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝතය කවරේ දැ”යි. වහන්ස, මේ අරිඅටඟිමඟ ම සෝත යයි. එනම්; සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත මේ අරිඅටඟිමඟ ම සෝත ය යි. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත සෝවාන් සෝවාන් යී මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් කවරේ දැ යි. වහන්ස, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි.
11. 1. 6.
ථපති සූත්‍රය
3774. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමාසිවුරු ඇති (අනුසස් කාලය නිම වූ සිවුරු ඇති) භාග්‍යවතුන් වහන්සේ තෙමස අවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත්. එසමයෙහි ඉසිදත්ත පුරාණ වඩුවෝ දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාධුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුවෝ නිමා සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැයි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කම් කෙරෙති යි ඇසූහ.