10. 2. 6.
දුතිය භික්ඛු සූත්රය
3764. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙදහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
මහණෙනි, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහමක් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක් දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවති. සත් බොජඟ වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්ති පුරවයි. “මහණෙනි, ආනාපානසතිසමාධි කෙසේ වඩන ලදුයේ කෙසේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවාගෙන හිඳගනී. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්රශ්වාස කෙරෙයි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමියි දනී ද, දිගු කොට හෝ ප්රශ්වාස කරනුයේ දිගු කොට ප්රශ්වාස කෙරෙමියි දනී ද, ලුහුඬු කොට හෝ ... සියලු ආශ්වාසප්රශ්වාස කය දන්නා සුලු ව ... කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ ද, කායසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් මේ ආශ්වාසප්රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැයි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
මහණෙනි, යම් කලෙක මහණ ප්රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සංසිඳුවමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ආශ්වාස ප්රශ්වාසයන් පිළිබඳ යම් මේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය එක්තරා වේදනාවකැ යි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.
මහණෙනි, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදමින් ... ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදමින් ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ සිත්හි සිත් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුළා සිහි ඇති මනා දැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.