10. 2. 3.
ආනන්‍ද සූත්‍රය
3761. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, එක් දහමක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනෙකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ”යි. ආනන්‍ද, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇතැ යි.
“වහන්ස, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ (කවර) සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු (කවර) සත් දහම් කෙනකුන් පුරවත් ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු කවර දෙ දහම් කෙනකුන් පුරවද්දැ”යි. ආනන්‍ද, ආනාපානසතිසමාධි නම් එක් දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවා ද යත්: ආනන්‍ද, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද මෙය එක්තරා වේදනාවෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙසස්නෙහි මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ සිතෙහි සිත අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.