10. 2. 2.
කඞ්ඛෙය්‍ය සූත්‍රය
3760. එක් සමයෙක ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවෝ ශාක්‍ය දනව්වෙහි කපිලවාස්තුපුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවෙසෙති. එකල මහානාමශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන්ට මෙය කීය: “වහන්ස, සේඛ විහාරයන් එය ම ද? තථාගතවිහාරයත් එය ම ද? නොහොත් සෙඛවිහාරය අනෙකෙක් ද? තථාගත විහාරය අනෙකෙක් දැ”යි.
ඇවැත්නි, මහානාම, එය ම සේඛවිහාරයත් එය ම තථාගතවිහාරයත් නො ම වේ. ඇවැත්නි මහානාම, සෙඛවිහාරය අනෙකෙකි. තථාගතවිහාරය අනෙකෙකි. ඇවැත්නි, මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර රහත්බව පතමින් වෙසෙද්ද, ඔහු පස් නීවරණ දුරු කොට වෙසෙත්. කවර පසක් ද යත්: කාමච්ඡන්‍ද නීවරණය දුරු කොට වෙසෙත්. ව්‍යාපාද නීවරණය ... ථිනමිද්ධ නීවරණය ... උද්ධච්චකුක්කුච්ච නීවරණය ... විචිකිච්ඡා නීවරණය දුරු කොට වෙසෙත්. ඇවැත්නි මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍යභික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර වූ අර්‍හත්‍වය පතමින් වෙසෙද්ද, ඔහු මේ පස් නීවරණ දුරු කොට වෙසෙති.
ඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නොහටගන්නා බවට පමුණුවනලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. කවර පසෙක් ද යත්: කාමච්ඡන්‍දනීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. ව්‍යාපාදනීවරණය ... ථීනමිද්ධනීවරණය ... උද්ධච්චකුක්කුච්චනීවරණය ... විචිකිච්ඡානීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය.
ඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් මේ පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නො හටගන්නා බවට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඇවැත්නි මහානාම, යම්සේ සෙඛවිහාරය අනෙකෙක් ම වේ ද, තථාගතවිහාරය අනෙකෙක් ම වේ ද, ඒ මෙය මේ නයෙනුදු දතයුතු.
ඇවැත්නි මහානාම, එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. ඇවැත්නි, “එසේ ය වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණි.
ඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඇතුළුවස ආනාපානසතිසමාධියෙන් යුතු ව බහුල කොට විසූ සේකැ” යි මෙසේ පවසන්නහු ය. මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි ඇතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි. දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනිමි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් ඒ යමකට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ ය.
මහණෙනි, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නොපැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර නිවන පතමින් වෙසෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ආස්‍රව ක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ දිටුදැමියෙහි සුවවිහරණය පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී.