10. 1. 9.
අසුභ සූත්‍රය
3757. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් භික්‍ෂූන්ට අසුභකථා වදාරන සේක. අසුභයෙහි ගුණ කියන සේක, අසුභභාවනාවෙහි ගුණ කියන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් එකලා ව වෙසෙන්නට කැමති වෙමි. පිණ්ඩාපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
එකල්හි ඒ භික්‍ෂූහු, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් අසුභකථා වදාරන සේක, අසුභයෙහි ගුණ කියන සේක, අසුභ භාවනාවෙහි ගුණ කියන සේකැ යි නොයෙක් කරුණෙන් ගැවසී ගත් අසුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මේකයින් පීඩිතවන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. විසි මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. තිස් මහණ කෙනෙක් ද එක්දවසින් අවි ගනිත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්‍ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යම්සේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”යි.
ආනන්‍ද, එසේ වී නම් යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස්කරව යි. එසේ ය වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් නම් ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඔ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; “වහන්ස, බික් සඟන තෙමේ රැස් වූයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය ද වඩන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල්දහම් ද සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, යම්සේ ගිමන් සෙමෙහි පැසුළු (=ඇසළ) මස උඩ නැඟි රජස්දැලි වේ ද එය මහා අකල් වැස්ස සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, එසෙයින් ම ආනාපානසති සමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල් දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි සන්හිඳුවයි.
මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වී උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: “මහණෙනි, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙ”මි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ පුනපුනා කරන ලද්දේ ශාන්තත් ප්‍රණීතත් පියවින් මිහිරිත් සුවවිහරණත් වෙයි. උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවා යි.
10. 1. 10.
කිම්බිල සූත්‍රය
3758. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලානුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි, මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක ... දෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි. තෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ.