10. 1. 10.
කිම්බිල සූත්‍රය
3758. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලානුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි, මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක ... දෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි. තෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිය වදාරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු නම් භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි, සුගතයන් වහන්ස, එයට කාලය”යි. ආනන්‍ද, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ ද යත්: ආනන්‍ද මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ.
ආනන්‍ද, යම් කලෙක මහණ දිගු කොට ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, මහණ තෙමේ එසමයෙහි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් ඒ අස්සාස පස්සාස වේ නම් මෙය (වායෝකාය නම් වූ) එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කය අනු ව, දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
ආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ප්‍රීතිය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද ආනන්‍ද, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ යම් ඒ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය සුව වේදනා නම් වූ එක්තරා වේදනාවකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.