10. 1. 8.
දීප සූත්රය
3756. සැවැත්නුවර:
මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට හියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බෝධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්රවයන්ගෙන් මිදුණේ ය.
මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “මාගේ කය නො ම ක්ලාන්ත වන්නේ නම් ඇස් නො ම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිත ද උපාදාන රහිතව ආස්රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ, “මාගේ යම් පඤ්චකාමනිශ්රිත විතර්කයෝ වෙද්ද ඔහු ප්රහීණ වන්නාහු නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි නො පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුල ද පිළිකුල ද යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...
මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “විතර්ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “ප්රීතියෙහිද නොඇල්මෙන් මැදහත්ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව කයින් සුවත් විඳින්නෙම් නම් ආර්ය්යයෝ යමක් ගැන උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි කියද්ද ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “සුවත් දුරු කිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...