10. 1. 7.
කප්පින සූත්‍රය
3755. සැවැත්නුවර:
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන භාග්‍යවතුන් වගන්සේ නුදුරෙහි වැඩහුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන නුදුරෙහි වැඩ හුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුටුසේකි. දැක භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ මහණහුගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ දකිවු දැ”යි. වහන්ස, අපි යම් කලෙක සඟමැද හුන්නාවූ හෝ එකලා ව විවේකී ව හුන්නා වූ හෝ ඒ ආයුෂ්මතුන් දක්නමෝ නම් එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො දක්නමෝ යි.
මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, සිතෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමැති සේ ලබනසුල්ලෙක් නිදුකින් ලබනසුල්ලෙක් මහත් සේ ලබනසුල්ලෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතෙහි කම්පනයෙක් හෝ සැලීමක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වෙයි. සිතෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වේ.
මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි කයේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ. සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ යි.
10. 1. 8.
දීප සූත්‍රය
3756. සැවැත්නුවර:
මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට හියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බෝධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුණේ ය.