1. 7. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
76. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගය දුරලීම කෙළවර කොට ද්වේෂය දුරලීම කෙළවර කොට මෝහය දුරලීම කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
ඒකධම්මපෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍රයුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.
8. දුතියඒකධම්මපෙය්‍යාලය
1. 8. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
77. සැවැත්නුවර:
මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම් බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැඹුරු වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 8. 2.
සීල සූත්‍රය
78. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟක් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ සිවුපිරිසිදු සීලය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, සිල්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
1. 8. 3.
ඡන්‍ද සූත්‍රය
79. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය යම්බඳු නම් එබඳු අන් එක් දහමකදු මම නො ම දකිමි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි ... බහුල කෙරේ යයි.
1. 8. 4.
අත්ත සූත්‍රය
80. මහණෙනි, යම් දහමක් හේතු කොට නූපන් අරීඅටඟිමඟත් උපදී ද, උපන් අරීඅටඟිමඟත් වැඩීමෙන් පිරීමට යේ ද, මහණෙනි, මේ චිත්තසම්පත්තිය යම්බඳු නම් එබඳු අන් එක් දහමක් මම නො ම දකිමි. මහණෙනි, සිත්සපන් මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.