1. 5. 7.
ඤාණදස්සන සූත්‍රය
47. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, ඥානදර්‍ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මග කවරේද , පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ “සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 8.
අනුපාදා සූත්‍රය
48. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි, මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, උපාදාන රහිත ව පිරිනිවීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීමට පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මඟ කවරේ ද පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ: “සම්මාදිට්ඨි … සම්මාසමාධි”යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
(සියල්ල සැවත නිදාන කොට ඇත)
අඤ්ඤතිත්‍ථිය පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය :
විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන, අනුපාදා යී මේ සූත්‍රාන්ත අටෙකි යි.
6. සූරියපෙය්‍යාලය
1. 6. 1.
කල්‍යාණමිත්ත සූත්‍රය
සියල්ල සැවැත් නිදාන යැ.
49. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේය අරිඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරිඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යග්සඞ්කල්පය වඩයි … සම්‍යග්වචනය වඩයි … සම්‍යක්කර්‍මාන්තය වඩයි … සම්‍යගාජීවය වඩයි … සම්‍යග්ව්‍යායාමය වඩයි … සම්‍යග්ස්මෘතිය වඩයි … විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, කලණ මිතුරන් ඇති මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 2.
සීල සූත්‍රය
50. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද උදා වන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි. මේ පූර්‍වනිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සීලසම්පදාව (සිවු පිරිසිදු සීලය) ක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මෙය පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය සීලසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, සීලසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිංශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, සීලසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.