1. 5. 4.
අද්ධාන සූත්‍රය
44. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මේ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේය යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, සසර අදන්මඟ පිරිසිඳ දැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 5.
ආසවක්ඛය සූත්‍රය
45. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, ආස්‍රවක්‍ෂය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි … මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ආස්‍රවක්‍ෂය පිණිස මේ මගය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 6.
විජ්ජාවිමුත්ති සූත්‍රය
46. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු ය: “ඇවැත්නි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අර්‍හත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධිය යි. මහණෙනි, අර්‍හන්මාර්‍ගඥානවිද්‍යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
1. 5. 7.
ඤාණදස්සන සූත්‍රය
47. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, ඥානදර්‍ශනය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මග කවරේද , පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ “සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ඥානදර්‍ශනය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 8.
අනුපාදා සූත්‍රය
48. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරේ බඹසර වෙසේ දැ?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි, මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, උපාදාන රහිත ව පිරිනිවීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය: “ඇවැත්නි, උපාදාන රහිත වැ පිරිනිවීමට පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මඟ කවරේ ද පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ මෙසේ යැ: “සම්මාදිට්ඨි … සම්මාසමාධි”යි. මහණෙනි, උපාදාන රහිත වැ පිරිනිවීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
(සියල්ල සැවත නිදාන කොට ඇත)
අඤ්ඤතිත්‍ථිය පෙය්‍යාල යි.
එහි සූත්‍රනාමාවලිය :
විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන, අනුපාදා යී මේ සූත්‍රාන්ත අටෙකි යි.