1. 4. 10.
දෙවන බ්‍රහ්මචරිය සූත්‍රය
40. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්‍ත්‍ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්‍ත්‍ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්‍ත්‍ථ යි කියනු ලැබේ යි.
(සියල්ල සැවැත්නුවර ම නිදාන කොට ඇත.)
සිව්වැනි පටිපත්ති වර්‍ග යි.
එහි සූත්‍ර නාමමාලාව:
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පරඞ්ගම යි සූත්‍ර සතරෙකි. සාමඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මඤ්ඤ නමින් දෙකෙක් ද, බ්‍රහ්මචරිය නමින් දෙකෙක්ද කියන ලදහ. මේ සූත්‍ර දශයෙන් වර්‍ග යයි කියනු ලැබේ.
5. අඤ්ඤතිත්‍ථියපෙය්‍යාලය
1. 5. 1.
විරාග සූත්‍රය
41. සැවැත්නුවර:
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙ යි.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇත”. “පිළිවෙතක් ඇතැ”යි මහණෙනි රාගය දුරලීම පිණිස මඟ කවරෙ යැ පිළිවෙත කවරෙ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ ය යත්: සම්මාදිට්ඨි යැ …. සම්මාසමාධි යි. මහණෙනි, රාගය දුරලීම පිණිස මේ මග යැ, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
1. 5. 2.
සංයෝජන සූත්‍රය
42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.
මහණෙනි, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්‍රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයනට මෙසේ විසඳන්නාහුය.
1. 5. 3.
අනුසය සූත්‍රය
43. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් “මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට “මෙසේ විසඳන්නාහු ය: “ඇවැත්නි, අනුසය (නිදි ගත් කෙලෙස්) නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. මහණෙනි,