1. 3. 4.
දෙවන පටිපදා සූත්‍රය
24. සැවැත්නුවර:
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත්හි පිහිටීම හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය නො සපයන්නෙක් වේ. මහණෙනි, වැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ වැරදි පිළිවෙතැ යි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය නො සපයන්නෙක් වෙයි.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ග ධර්‍මය සපයන්නෙක් වේ. මහණෙනි, නිවැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ නිවැරදි පිළිවෙතැයි කියනු ලැබේ. මහණෙනි මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය සපයන්නෙක් වේ යි.
1. 3. 5.
අසප්පුරිස සූත්‍රය
25. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ මිථ්‍යාසඞ්කල්ප ඇත්තේ මිථ්‍යාවචන ඇත්තේ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ මිථ්‍යාආජීව ඇත්තේ මිථ්‍යාව්‍යායාම ඇත්තේ මිථ්‍යාස්මෘති ඇත්තේ මිථ්‍යාසමාධි ඇත්තේ වේ. මහණෙනි මේ අසත්පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ සම්‍යක්සඞ්කල්ප ඇත්තේ සම්‍යග්වචන ඇත්තේ සම්‍යක්කර්‍මාන්ත ඇත්තේ සම්‍යගාජීව ඇත්තේ සම්‍යක්ව්‍යායාම ඇත්තේ සම්‍යක්ස්මෘති ඇත්තේ සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ.
1. 3. 6.
දෙවන අසප්පුරිස සූත්‍රය
26. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයාත් තොපට දේශනා කරන්නෙමි. සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයාත් දේශනා කෙරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිථ්‍යා සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ ... මිත්‍යසමාධි ඇත්තේ මිථ්‍යාඥාන ඇත්තේ මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂතරයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා කවරේ ද? යත්: මහණෙනි, මෙහි එකෙක් සම්‍යක්දෘෂ්ටි ඇත්තේ ... සම්‍යක්සමාධි ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ සම්‍යග්විමුක්ති අත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වඩා සත්පුරුෂතරයා යයි කියනු ලැබේ යි.
1. 3. 7.
කුම්භ සූත්‍රය
27. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ කළය ආධාර (දරනු) රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර (දරනු) සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිත ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි, ආධාර සහිත වූයේ පහසුවෙන් නො පෙරළිය හැක්කේ වේ. මහණෙනි, සිතට ආධාරය කිමෙක් ද යත්: මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මේ සිතට ආධාර ය යි කියනු ලැබේ. මහණෙනි, යම්සේ කළය ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වේ ද, ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ ද, මහණෙනි, එසෙයින් ම සිතට ආධාර රහිත වූයේ පහසුවෙන් පෙරළිය හැක්කේ වෙයි. ආධාර සහිත වූයේ පහසුවෙන් පෙරළිය නො හැක්කේ වේ යි.
1. 3. 8.
සමාධි සූත්‍රය
28. සැවැත්නුවර:
මහණෙනි, තොපට ප්‍රත්‍ය සහිත පිරිවර සහිත ආර්‍ය්‍ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සප්‍රත්‍යය සපරිෂ්කාර ආර්‍ය්‍ය සම්‍යක් සමාධිය කවරේ ද යත්: “හේ මෙසේය: සම්මාදිට්ඨිය සම්මාසඞ්කප්පය සම්මාවාචා ය සම්මාකම්මන්තය සම්මාආජීව ය සම්මාවායාමය සම්මාසති” යි මහණෙනි, මේ සත්අඟින් සිතේ යම් එකඟබවෙක් වේ නම් එය සපරිෂ්කාර බවයි. මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය මෙසේ ප්‍රත්‍යය සහිත ය යි දු මෙසේ පිරිවර සහිත ය යි දු කියනු ලැබේ යි.