1. 3. 3.
පටිපදා සූත්රය
23. සැවැත්නුවර:
මහණෙනි මිච්ඡාපටිපදාව (වැරදි පිළිවෙත) ද සම්මාපටිපදාව (නොවැරදි පිළිවෙත) ද තොපට දේශනා කරන්නෙමි එය අසවු. මහණෙනි මිච්ඡාපටිපදාව කවර යත්: මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ මිච්ඡාපටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාපටිපදාව කවර යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්මාපටිපදාව යයි කියනු ලැබේ.
1. 3. 4.
දෙවන පටිපදා සූත්රය
24. සැවැත්නුවර:
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත්හි පිහිටීම හේතු කොට ආර්ය්යමාර්ගධර්මය නො සපයන්නෙක් වේ. මහණෙනි, වැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ වැරදි පිළිවෙතැ යි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිවෙත නො වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ වරදවා පිළිපන්නේ වැරදි පිළිවෙත හේතු කොට ආර්ය්යමාර්ග ධර්මය නො සපයන්නෙක් වෙයි.
මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්ය්යමාර්ග ධර්මය සපයන්නෙක් වේ. මහණෙනි, නිවැරදි පිළිවෙත කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ නිවැරදි පිළිවෙතැයි කියනු ලැබේ. මහණෙනි මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ නිවැරදි පිළිවෙත වනමි. මහණෙනි, ගිහියා හෝ පැවිද්දා හෝ මැනවින් පිළිපන්නේ නිවැරදි පිළිවෙත හේතු කොට ආර්ය්යමාර්ගධර්මය සපයන්නෙක් වේ යි.
1. 3. 5.
අසප්පුරිස සූත්රය
25. සැවැත්නුවර:
මහණෙනි, අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් මිථ්යාදෘෂ්ටි ඇත්තේ මිථ්යාසඞ්කල්ප ඇත්තේ මිථ්යාවචන ඇත්තේ මිථ්යාකර්මාන්ත ඇත්තේ මිථ්යාආජීව ඇත්තේ මිථ්යාව්යායාම ඇත්තේ මිථ්යාස්මෘති ඇත්තේ මිථ්යාසමාධි ඇත්තේ වේ. මහණෙනි මේ අසත්පුරුෂයා යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයා කවරේ ද යත්: මහණෙනි, මෙහි එකෙක් සම්යග්දෘෂ්ටි ඇත්තේ සම්යක්සඞ්කල්ප ඇත්තේ සම්යග්වචන ඇත්තේ සම්යක්කර්මාන්ත ඇත්තේ සම්යගාජීව ඇත්තේ සම්යක්ව්යායාම ඇත්තේ සම්යක්ස්මෘති ඇත්තේ සම්යක්සමාධි ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂයා යි කියනු ලැබේ.