1. 2. 9.
දෙවන කුක්කුටාරාම සූත්‍රය
19. පැළලුප්නුවර:
එකත්පස්ව හුන් ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීහ: “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ” යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසර කෙළවර කවරේ දැ? යි.
ඇවත් භද්දයෙනි, මැනවි මැනවි. ඇවත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත්නි, භද්දයෙනි තෙපි “ඇවැත්නි ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේද? බඹසර කෙළවර කවරේදැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි එසේ යයි.
ඇවැත්නි මේ අරි අටගි මග ම බඹසරය. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මේ බඹසර කෙළවරයි.
1. 2. 10.
තෙවන කුක්කුටාරාම සූත්‍රය
20. පැළලුප්නුවර:
ආයුෂ්මත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි බඹසර කවරේ ද බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ? යි.
ආයුෂ්මත් භද්දයෙනි, මැනවි මැනවි. ආයුෂ්මත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත් භද්දයෙනි, තෙපි “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැයි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි, එසේ ය යි.
ඇවැත්නි, මේ අරිඅටගි මග ම බඹසර ය. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ඇවැත්නි, යමෙක් මේ අරිඅටගි මගින් සමන්‍වාගත ද, මේ තෙමේ බඹසැරි ය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මෙය බඹසර කෙළවර යි.
දෙවෙනි විහාරවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
විහාරසූත්‍ර දෙකෙකි. සේඛසුත්‍රයෙකි. අනෙක් උප්පාදසූත්‍ර දෙකෙකි. පරිසුද්ධ නමින් දෙකෙක් ද කුක්කුටාරාම නමින් තුනෙක්ද කියන ලදී. (මුළුල්ල දශයෙකි).