1. 2. 10.
තෙවන කුක්කුටාරාම සූත්‍රය
20. පැළලුප්නුවර:
ආයුෂ්මත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැ යි කියනු ලැබේ. ඇවැත්නි බඹසර කවරේ ද බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ? යි.
ආයුෂ්මත් භද්දයෙනි, මැනවි මැනවි. ආයුෂ්මත් භද්දයෙනි, තොපගේ පැන විමසීම යහපති, වැටහීම යහපති, පිළිවිසුම යහපති. ඇවැත් භද්දයෙනි, තෙපි “ඇවත් ආනන්‍දයෙනි, බඹසර බඹසරැයි කියනු ලැබේ. ඇවැත්නි, බඹසර කවරේ ද? බඹසැරිහු කවරෙක් ද බඹසර කෙළවර කවරේ දැ” යි මෙසේ පුළුවුසිවු දැ?යි. ඇවැත්නි, එසේ ය යි.
ඇවැත්නි, මේ අරිඅටගි මග ම බඹසර ය. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ඇවැත්නි, යමෙක් මේ අරිඅටගි මගින් සමන්‍වාගත ද, මේ තෙමේ බඹසැරි ය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් රාගක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මෙය බඹසර කෙළවර යි.
දෙවෙනි විහාරවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
විහාරසූත්‍ර දෙකෙකි. සේඛසුත්‍රයෙකි. අනෙක් උප්පාදසූත්‍ර දෙකෙකි. පරිසුද්ධ නමින් දෙකෙක් ද කුක්කුටාරාම නමින් තුනෙක්ද කියන ලදී. (මුළුල්ල දශයෙකි).
3. මිච්ඡත්ත වර්‍ගය
1. 3. 1.
මිච්ඡත්ත සූත්‍රය
21. සැවැත්නුවර:
මහණෙනි, මිථ්‍යාස්වභාවය ද සම්‍යක්ස්වභාවය ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මිථ්‍යා ස්වභාවය කවරේ ද යත්: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජිව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යි. මහණෙනි, මිථ්‍යාස්වභාව යයි කියනු ලැබේ.
මහණෙනි සම්‍යක්ස්වභාවය කවරේ ද යත්: එනම් සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්‍යක්ස්වභාව ය යි කියනු ලැබේ.
1. 3. 2.
අකුසලධම්ම සූත්‍රය
22. සැවැත්නුවර:
මහණෙනි, අකුසල්දහම් ද කුසල් දහම් ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අකුසල් දහම්හු කවරහුද යත්. එනම් මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මොහු අකුසල්දහම්හු යි කියනු ලැබෙත්.
මහණෙනි, කුසල්දහම් කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මොහු කුසල්දහම්හු යයි කියනු ලැබෙත් යි.
1. 3. 3.
පටිපදා සූත්‍රය
23. සැවැත්නුවර:
මහණෙනි මිච්ඡාපටිපදාව (වැරදි පිළිවෙත) ද සම්මාපටිපදාව (නොවැරදි පිළිවෙත) ද තොපට දේශනා කරන්නෙමි එය අසවු. මහණෙනි මිච්ඡාපටිපදාව කවර යත්: මිච්ඡාදිට්ඨි ... මිච්ඡාසමාධි යි. මහණෙනි, මේ මිච්ඡාපටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාපටිපදාව කවර යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සම්මාපටිපදාව යයි කියනු ලැබේ.