1. 16. 49-64.
ගන්‍ථ සූත්‍ර
435-450. මහණෙනි, මේ ගන්‍ථ (ගෙතීම්) සතරෙකි. කවර සතරෙක යත්: අභිජ්ඣාකායගන්‍ථ ව්‍යාපාදකායගන්‍ථ සීලබ්බතපරාමාසකායගන්‍ථ ඉදංසච්චාගිනිවේසකායගන්‍ථ යි. මහණෙනි, මේ ගන්‍ථ සතර යි. මහණෙනි, මේ ගන්‍ථසතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස .... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ගන්‍ථයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 65-80.
අනුසය සූත්‍ර
451-466. මහණෙනි, මේ අනුසය (නිදිගත්කෙලෙස්) සතෙකි. කවර සතෙක යත්: කාමරාගානුසය පටිඝානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භාවරාගානුසය අවිජ්ජානුසය යි. මහණෙනි, මොහු සත් අනුසයයෝ යි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 81-96.
කාමගුණ සූත්‍ර
467-482 මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ ය … කණින් දතයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය … දිවින් දතයුතු රසයෝ ය. ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 97-112.
නීවරණ සූත්‍ර
483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 113-128.
උපාදානක්ඛන්‍ධ සූත්‍ර
499-514 මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: රූපූපාදානක්ඛන්‍ධය වේදනූපාදානක්ඛන්‍ධය සඤ්ඤූපාදානක්ඛන්‍ධය සඞ්ඛාරූපාදානක්ඛන්‍ධය විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍යවූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 129-144.
ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක යත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්‍ද ව්‍යාපාදය යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.