1. 1. 9.
සූක සූත්‍රය
9. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වරදවා තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා වරදවා තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ වරදවා පිහිටුවන ලද දෘෂ්ටියෙන් වරදවා පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා වරදවා පිහිටුවන ලද බැවිනි.
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා මැනවින් පිහිටුවන ලද බැවිනි.
මහණෙනි, මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් මහණ තෙමේ කෙසේ නම් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද නිවන පසක් කෙරේ ද, මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... විවේකනිස්සිත කොට විරාගනිස්සිත කොට නිරෝධනිස්සිත කොට වොස්සග්ගපරිණාමි කොට සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේත් මේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳියි, විද්‍යාව උපදවයි, නිවන පසක් කෙරේ යි.
1. 1. 10.
නන්‍දිය සූත්‍රය
10. සැවැත්නුවර:
එකල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයෙනි, කෙතෙක් දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙද්දැ? යි. නන්‍දිය, අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. නන්‍දිය, මේ අට දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති යි.
මෙසේ වදාළ කල්හි නන්‍දිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලද්දේ ය. වහන්ස, මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම්‍ කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්ව යි.
පළමුවැනි අවිජ්ජාවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අවිජ්ජා සූත‍්‍රය ද උපඩ්ඪ සූත්‍රය ද සාරිපුත්ත සූත්‍රය ද බ්‍රාහ්මණ සූත්‍රය ද කිමත්‍ථිය සූත්‍රය ද භික්ඛු සූත්‍ර දෙක ද විභඞ්ග සූත්‍රය ද සූකනන්‍දිය සූත්‍ර දෙක දැ යි දශ සූත්‍ර කෙනෙකි.