1. 1. 10.
නන්දිය සූත්රය
10. සැවැත්නුවර:
එකල්හි නන්දිය පිරිවැජි භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් නන්දිය පිරිවැජි භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයෙනි, කෙතෙක් දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙද්දැ? යි. නන්දිය, අට දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. නන්දිය, මේ අට දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට යන්නාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති යි.
මෙසේ වදාළ කල්හි නන්දිය පිරිවැජි භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරෙන් දහම් පවසන ලද්දේ ය. වහන්ස, මම භාග්යවත් ගෞතමයන් වහන්සේත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්ව යි.
පළමුවැනි අවිජ්ජාවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අවිජ්ජා සූත්රය ද උපඩ්ඪ සූත්රය ද සාරිපුත්ත සූත්රය ද බ්රාහ්මණ සූත්රය ද කිමත්ථිය සූත්රය ද භික්ඛු සූත්ර දෙක ද විභඞ්ග සූත්රය ද සූකනන්දිය සූත්ර දෙක දැ යි දශ සූත්ර කෙනෙකි.
2. විහාර වර්ගය
1. 2. 1.
විහාර සූත්රය
11. සැවැත්නුවර:
මහණෙනි, මම අඩවසක් එකලා වැ වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි යි. වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙකු භාග්යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකසුවයෙන් නැගී සිටි සේක් භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, මම බුදු වැ පළමු කොට යම් විහරණයෙකින් විසුයෙම් නම් එහි පෙදෙසකින් යුතු ව විසුවෙමි. මම මෙසේ දනිමි; “මිච්ඡාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාදිට්ඨි හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසඞ්කප්පහේතුවෙන් ද වේදනාව වෙයි. මිච්ඡාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවාචාහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාකම්මන්තහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාආජීවහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාආජීව හේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාවායාමහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසතිහේතුවෙන් ද වේදනාව වෙයි, මිච්ඡාසමාධි හේතුවෙන් ද වේදනාව වෙයි, සම්මාසමාධිහේතුවෙන් ද වේදනාව වෙයි, ඡන්දහේතුවෙන් ද වේදනාව වෙයි, විතක්කහේතුවෙන් ද වේදනාව වෙයි, සඤ්ඤාහේතුවෙන් ද වේදනාව වෙයි.
ඡන්දයත් නො සන්හුන්නේ වෙයි. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්දය සන්හුන්නේ වේ. විතක්කයෝත් නො සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝ නො සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. ඡන්දයත් සන්හුන්නේ වේ. විතක්කයෝත් සන්හුන්නාහු වෙති. සඤ්ඤාවෝත් සන්හුන්නාහු වෙති. ඒ හේතුවෙන්ද වේදනාව වේ. නො පැමිණි (රහත්බවට) පැමිණීමට වෑයමෙක් ඇත. එකරුණ ද පැමිණි කල්හි ඒ හේතුවේනුද වේදනාව වේ ය යි.