1. 1. 8.
විභඞ්ග සූත්රය
8. සැවැත්නුවර:
මහණෙනි, අරිඅටඟිමඟ තොපට දේශනා කරන්නෙමි, බෙදා දක්වන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියමි යි. ‘වහන්ස එසේ ය’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, අරිඅටඟි මඟ කවරේ ද, ඒ මෙසේයි: ‘සම්මාදිට්ඨිය ... සම්මාසමාධි’ යි. මහණෙනි, සම්මාදිට්ඨිය කවර යත්: මහණෙනි, දුකෙහි යම් දැනීමෙක්, දුක හටගැනීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමට යන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ නම් මහණෙනි මේ “සම්මාදිට්ඨි” යයි කියනු ලැබේ.
මහණෙනි සම්මාසඞ්කප්පය කවරේ ද යත්: මහණෙනි යම් නෛෂ්ක්රම්ය සඞ්කල්පයක්, අව්යාපාදසඞ්කල්පයෙක්, අවිහිංසාසඞ්කල්පයෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවාචා කවර යත්: මහණෙනි, යම් මුසාවායෙන් වැළකීමෙක්, පිසුනු වදනින් වැළකීමෙක්, රළු වදනින් වැළකීමෙක්, හිස්වදනින් වැළකීමෙක් වේ නම්, මහණෙනි මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද යත්: මහණෙනි, යම් පණිවායෙන් වැළකීමෙක්, අයිනාදනින් වැළකීමෙක්, අබ්රම්සරින් වැළකීමෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාආජීවය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු තෙමේ වැරදි දිවිපෙවෙත හැර යහපත් දිවිපෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවායාමය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නූපන් පවිටු අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. උපන් පවිටු අකුසල් දහම් පැහීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. නූපන් කුසල් දහම් ඉපදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නො මුළාව පිණිස බොහෝබව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. මහණෙනි, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාසතිය කවර යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව කාය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (විඳුම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (සිත්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණැති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාසමාධිය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්රීතිය හා සුඛ ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසෙයි. විතර්ක විචාර සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුඛය ඇති ද්වීතිය ධ්යානයට පැමිණ වෙසෙයි. ප්රීතිය ද වැළකීමෙන් උපේක්ෂා ද ඇති ව වෙසේ. සිහි ද ඇතිව මනාදැනුමුත් ඇතිව කයින් සුවත් විඳී, උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය යි ආර්ය්යයෝ ඒ යමක් සඳහා කියත් නම් ඒ තෘතීය ධ්යානයට පැමිණ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පෙර ම සොම්නස්දොම්නසුන්ගේ පහ ව යෑමෙන් නොදුක් වූ නොසුව වූ උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සම්මාසමාධි යි කියනු ලැබේ යි.
1. 1. 9.
සූක සූත්රය
9. සැවැත්නුවර:
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ වරදවා තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා වරදවා තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ වරදවා පිහිටුවන ලද දෘෂ්ටියෙන් වරදවා පිහිටුවන ලද මාර්ගභාවනායෙන් අවිද්යාව බිඳින්නේ ය, විද්යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා වරදවා පිහිටුවන ලද බැවිනි.
මහණෙනි, යම්සේ හැල් නණ්ඩුවක් හෝ යව නණ්ඩුවක් හෝ මැනවින් තබන ලද්දේ ද (එය) අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනවින් පිහිටුවන ලද මාර්ගභාවනායෙන් අවිද්යාව බිඳින්නේ ය, විද්යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය තමා මැනවින් පිහිටුවන ලද බැවිනි.