1. 1. 5.
කිමත්ථිය සූත්රය
5. සැවැත්නුවර:
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අප පුළුවුසිත්: “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි වහන්ස, මෙසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසම්හ: “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යි. වහන්ස, කිම? එසේ පුළුවුස්නා ලද අපි මෙසේ පවසන්නමෝ භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? “භාග්යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කරමෝ ද? දහමට අනුදහමක් පවසමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ?” යි.
මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මෙසේ පවසන්නහු ඒකාන්තයෙන් මා විසින් කියන ලද්දක් කියන්නහු වවු. මට අභූතයෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනුදහමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට නොද පැමිණේ. “මහණෙනි, දුක පිරිසිඳ දැනගැනුම පිණිස මා කෙරෙහි බඹසර වෙසේ. “මහණෙනි, ඉදින් මේ දුක පිරිසිඳ දැනගනු පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතක් ඇද්ද” යි අන්තොටු පිරිවැජියෝ මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු: “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟෙක් ඇත, පිළිවෙතක් ඇතැ” යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මඟ කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමඟ ම ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙතැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට මෙසේ විසඳන්නහු යි.
1. 1. 6.
භික්ෂු සූත්රය
6. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘බ්රහ්මචරිය ය බ්රහ්මචරිය’ යි කියනු ලැබේ. වහන්ස, බ්රහ්මචරියය කවරේ ද, බ්රහ්මචරියෙහි කෙළවර කවරේ දැ?” යි. මහණ මේ අරිඅටඟිමඟ ම බ්රහ්මචරිය ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණ, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බ්රහ්මචර්ය්යායෙහි කෙළවර යි.
1. 1. 7.
දුතිය භික්ෂු සූත්රය
7. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය’ යි කියනු ලැබේ. වහන්ස, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල කුමකට නම් වේ දැ?” යි. “මහණ, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල නිර්වාණ ධාතුවට මේ නම් ය. එයින් ආස්රවක්ෂය කියනු ලැබේ” යි. මෙසේ කී කල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අමත ය අමත ය” යි කියනු ලැබේ, වහන්ස, අමෘතය කවරේ ද, අමෘතගාමී මාර්ගය කවරේ දැ?යි. මහණ, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ “අමෘත ය”යි කියනු ලැබේ. මේ අරිඅටඟිමඟ ම “අමෘතගාමී මාර්ගය යි”. ඒ මෙසේ යි: “සම්යග්දෘෂ්ටි ය ... සම්යක්සමාධි” යි.