1. 1. 6.
භික්ෂු සූත්රය
6. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘බ්රහ්මචරිය ය බ්රහ්මචරිය’ යි කියනු ලැබේ. වහන්ස, බ්රහ්මචරියය කවරේ ද, බ්රහ්මචරියෙහි කෙළවර කවරේ දැ?” යි. මහණ මේ අරිඅටඟිමඟ ම බ්රහ්මචරිය ය. ඒ මෙසේ යි: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණ, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බ්රහ්මචර්ය්යායෙහි කෙළවර යි.
1. 1. 7.
දුතිය භික්ෂු සූත්රය
7. සැවැත්නුවර:
ඉක්බිති එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: “වහන්ස, ‘රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය’ යි කියනු ලැබේ. වහන්ස, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල කුමකට නම් වේ දැ?” යි. “මහණ, රාගවිනය ය දෝසවිනය ය මෝහවිනය යි තෙල නිර්වාණ ධාතුවට මේ නම් ය. එයින් ආස්රවක්ෂය කියනු ලැබේ” යි. මෙසේ කී කල්හි ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අමත ය අමත ය” යි කියනු ලැබේ, වහන්ස, අමෘතය කවරේ ද, අමෘතගාමී මාර්ගය කවරේ දැ?යි. මහණ, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ “අමෘත ය”යි කියනු ලැබේ. මේ අරිඅටඟිමඟ ම “අමෘතගාමී මාර්ගය යි”. ඒ මෙසේ යි: “සම්යග්දෘෂ්ටි ය ... සම්යක්සමාධි” යි.
1. 1. 8.
විභඞ්ග සූත්රය
8. සැවැත්නුවර:
මහණෙනි, අරිඅටඟිමඟ තොපට දේශනා කරන්නෙමි, බෙදා දක්වන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, කියමි යි. ‘වහන්ස එසේ ය’ යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක: මහණෙනි, අරිඅටඟි මඟ කවරේ ද, ඒ මෙසේයි: ‘සම්මාදිට්ඨිය ... සම්මාසමාධි’ යි. මහණෙනි, සම්මාදිට්ඨිය කවර යත්: මහණෙනි, දුකෙහි යම් දැනීමෙක්, දුක හටගැනීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමෙහි යම් දැනීමෙක්, දුක වැළකීමට යන පිළිවෙතෙහි යම් දැනීමෙක් වේ නම් මහණෙනි මේ “සම්මාදිට්ඨි” යයි කියනු ලැබේ.
මහණෙනි සම්මාසඞ්කප්පය කවරේ ද යත්: මහණෙනි යම් නෛෂ්ක්රම්ය සඞ්කල්පයක්, අව්යාපාදසඞ්කල්පයෙක්, අවිහිංසාසඞ්කල්පයෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවාචා කවර යත්: මහණෙනි, යම් මුසාවායෙන් වැළකීමෙක්, පිසුනු වදනින් වැළකීමෙක්, රළු වදනින් වැළකීමෙක්, හිස්වදනින් වැළකීමෙක් වේ නම්, මහණෙනි මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාකම්මන්තය කවරේ ද යත්: මහණෙනි, යම් පණිවායෙන් වැළකීමෙක්, අයිනාදනින් වැළකීමෙක්, අබ්රම්සරින් වැළකීමෙක් වේ නම්, මහණෙනි, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාආජීවය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු තෙමේ වැරදි දිවිපෙවෙත හැර යහපත් දිවිපෙවෙතින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
මහණෙනි, සම්මාවායාමය කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නූපන් පවිටු අකුසල් දහම් නො ඉපදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. උපන් පවිටු අකුසල් දහම් පැහීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. නූපන් කුසල් දහම් ඉපදීම පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නො මුළාව පිණිස බොහෝබව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරිපුන්බව පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වෙර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්රධන් වීර්ය්යය කෙරේ. මහණෙනි, මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.