1. 1. 4.
බ්‍රාහ්මණ සූත්‍රය
4. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දුටහ. (එ රියෙහි) සුදු පළඳනා ඇති සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. රිය සුදු ය, පරිවාරෝපකරණ ද සුදු ය. රැහැන් සුදු ය. කෙවිට සුදු ය. ඡත්‍රය සුදු ය. නළල්පට සුදු ය. වස්ත්‍ර සුදු ය. වාහන් සුදු ය. සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. තුලුන් දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයාගේ යානය වැනි යානයෙකැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සැවැත්නුවර පිඬු පිණිස පිවිස පසුබතැ පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස මම හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දිටිමි. සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. සුදු අබරණ ය, සුදු රිය ය, (ඇතිරිලි ඈ) සුදු පිරිවර ය, සුදු රැහැන් ය, සුදු කෙවිට ය, සුදු ඡත්‍ර ය, සුදු නළල්පට ය, සුදු වස්ත්‍ර ය, සුදු වහන් ය, සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. මොහු දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්‍රහ්මයානය වැනි යානයෙකැ”යි. වහන්ස, මෙ සස්නෙහි බ්‍රහ්මයානයක් පනවන්නට හැකි වේ දැ යි.
“හැකි ය ආනන්‍දය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු ද මේ අරිඅටඟිමඟට ම තෙල නමෙකි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසඞ්කප්පය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවාචාව රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාකම්මන්තය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය,
වඩන ලද බහුල කරන ලද සම්මාආජීවය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාවායාමය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසතිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්‍දය, වඩන ලද බහුල කරන ලද සම්මාසමාධිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි.
“ආනන්‍දය, බ්‍රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු දැ යි යම් සේ මේ අරිඅටඟිමඟට තෙල නමෙක් වේ නම් එය මෙ නයින් දතයුතු ය” යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක:
1. යම් ආර්‍ය්‍යමාර්‍ගයානයෙක ශ්‍රද්ධාව ද ප්‍රඥාවද යන ධර්‍මයෝ හැම කල්හි ධුරයෙහි යෙදුණාහු ද, ලජ්ජාව රියහිස වේ ද, (විදර්‍ශනා හා මාර්‍ග) සිත යොත වේ ද, සිහිය ආරක්‍ෂක රියැදුරා වේ ද,
2. (ආර්‍ය) අෂ්ටාඞ්ගික මාර්‍ග නැමැති රථය ශීලය අලඞ්කාර කොට ඇත්තේ ද ධ්‍යානය අකුර කොට ඇත්තේ ද වීර්‍ය්‍යය චක්‍ර කොට ඇත්තේ ද, උපේක්‍ෂාව ධුර සමත්‍වය කොට ඇත්තේ ද, අලෝභය ආවරණය කොට ඇත්තේ ද,
3. අව්‍යාපාද අවිහිංසා (ත්‍රිවිධ) විවේක යන පස යම් රථයයෙක ආවුධ වේ ද ඉවසීම පැළඳගත් යුද්ධ සැට්ටය වේ ද, නිවන පිණිස පවතී ද,
4. නිරුත්තර වූ මේ බ්‍රහ්මයානය හෙවත් ශ්‍රේෂ්ඨ යානය තමා කෙරෙහි හටගත්තේ නම් (ඒ) ප්‍රාඥයෝ ඒකාන්තයෙන් (රාගාදීන්) දිනමින් ලෝකයෙන් නික්මෙති යි.
1. 1. 5.
කිමත්‍ථිය සූත්‍රය
5. සැවැත්නුවර:
ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මෙහි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ අප පුළුවුසිත්: “ඇවැත්නි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ?” යි වහන්ස, මෙසේ පුළුවුස්නා ලද අපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසම්හ: “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යි. වහන්ස, කිම? එසේ පුළුවුස්නා ලද අපි මෙසේ පවසන්නමෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නමෝ වමු ද? “භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද චෝදනා කරමෝ ද? දහමට අනුදහමක් පවසමෝ ද? කරුණු සහිත කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ?” යි.