1. 1. 3.
සාරිපුත්ත සූත්රය
3. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්රය, මැනවි මැනවි. ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්රය, අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.
ශාරිපුත්රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩා ද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ශාරිපුත්රය, මෙසස්නෙහි මහණ විවේකනිශ්රිත කොට විරාගනිශ්රිත කොට නිරෝධනිශ්රිත කොට ව්යවසර්ගපරිනාම කොට සම්යග්දෘෂ්ටිය වඩයි. ... සම්යක්සඞ්කල්පය වඩයි ... සම්යග්වචනය වඩයි ... සම්යක්කර්මාන්තය වඩයි ... සම්යගාජීවය වඩයි ... සම්යග්ව්යායාමය වඩයි ... සම්යක්ස්මෘතිය වඩයි ... විවේකනිශ්රිත කොට නිරෝධනිශ්රිත කොට ව්යවසර්ගපරිනාම කොට සම්යක්සමාධිය වඩයි. ශාරිපුත්රය, කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණ මෙසේ අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය.
ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ ද, මෙය යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු: එසේ මැ ය, ශාරිපුත්රය, කල්යාණමිත්ර වූ මා කරා පැමිණ ජාතිධර්මසත්ත්වයෝ ජාතියෙන් මිදෙත්. ජරාධර්මසත්ත්වයෝ ජරායෙන් මිදෙත්. මරණධර්මයසත්ත්වයෝ මරණයෙන් මිදෙත්. ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්යෙපායාසධර්ම සත්ත්වයෝ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්යෙපායාසයෙන් මිදෙත්. ශාරිපුත්රය, යම් කල්යාණමිත්රත්වයෙක් කල්යාණසහායත්වයෙක් කල්යාණසම්ප්රවඞ්කත්වයෙක් වේ ද මෙය ම යම්සේ මුළු බඹසර වේ නම් මෙය මේ නයෙනදු දතයුතු යි.
1. 1. 4.
බ්රාහ්මණ සූත්රය
4. සැවැත්නුවර:
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දුටහ. (එ රියෙහි) සුදු පළඳනා ඇති සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. රිය සුදු ය, පරිවාරෝපකරණ ද සුදු ය. රැහැන් සුදු ය. කෙවිට සුදු ය. ඡත්රය සුදු ය. නළල්පට සුදු ය. වස්ත්ර සුදු ය. වාහන් සුදු ය. සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. තුලුන් දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්රහ්මයාගේ යානය වැනි යානයෙකැ”යි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ සැවැත්නුවර පිඬු පිණිස පිවිස පසුබතැ පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස මම හැම සුදු වෙළඹුන් යෙදූ රියෙකින් සැවැත්නුවරින් නික්මෙන ජාණුස්සෝණි බමුණා දිටිමි. සුදු වූ ම අශ්වයෝ යොදන ලද්දාහු වෙති. සුදු අබරණ ය, සුදු රිය ය, (ඇතිරිලි ඈ) සුදු පිරිවර ය, සුදු රැහැන් ය, සුදු කෙවිට ය, සුදු ඡත්ර ය, සුදු නළල්පට ය, සුදු වස්ත්ර ය, සුදු වහන් ය, සුදු වූ ම වල්විදුනායෙකින් පවන් සලනු ලැබේ. මොහු දැක ජනයා මෙසේ කියයි: “පින්වත්නි, ඒකාන්තයෙන් ශ්රේෂ්ඨ යානයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් බ්රහ්මයානය වැනි යානයෙකැ”යි. වහන්ස, මෙ සස්නෙහි බ්රහ්මයානයක් පනවන්නට හැකි වේ දැ යි.
“හැකි ය ආනන්දය”යි භාග්යවතුන් වහන්සේ වදාළසේක. ආනන්දය, බ්රහ්මයාන යනු ද ධම්මයාන යනු ද අනුත්තරසඞ්ගාමවිජය යනු ද මේ අරිඅටඟිමඟට ම තෙල නමෙකි. ආනන්දය, වඩන ලද බහුල කරන ලද සම්මාදිට්ඨිය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්දය, වඩන ලද බහුල කරන ලද සම්මාසඞ්කප්පය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්දය, වඩන ලද බහුල කරන ලද සම්මාවාචාව රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්දය, වඩන ලද බහුල කරන ලද සම්මාකම්මන්තය රාගය දුරලීම කෙළවර කොට ඇති වෙයි, ද්වේෂය දුරලීම කෙළවර කොට ඇති වෙයි, මෝහය දුරලීම කෙළවර කොට ඇති වෙයි. ආනන්දය,