6. 1. 8.
නේවසඤ්ඤානාසඤ්ඤායතන සූත්රය
355. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ නම් මෙය නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකිඤ්චඤ්ඤායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නහමක් වරදව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත මැනවින් තබව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත එකඟ කරව. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසුකාලයෙහි සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 9.
අනිමිත්ත සූත්රය
356. අනිමිත්ත චේතෝ සමාධිය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ. අනිමිත්ත චේතෝ සමාධිය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය. මෙහි මහණ තෙමේ සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසේ නම් මෙය අනිමිත්ත චේතෝ සමාධිය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මාගේ විඤ්ඤාණය නිමිති අනුව හැසිරෙනසුලු වෙයි.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, අනිමිත්ත චේතෝ සමාධිය නහමක් වරදව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත මැනවින් තබව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චේතෝ සමාධියෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතෝ සමාධියට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමෙකු සඳහා කියන්නේ නම් මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 10.
සක්ක සූත්රය
357. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූවාහු තව්තිසා දෙවියන් අතර පහළ වූහ. එක්ලහි සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ.
දේවානමින්ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.