6. 1. 2.
අවිතක්ක සූත්රය
349. දෙවන දැහැනය දෙවන දැහැනය යි කියනු ලැබේ. දෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ විතර්කවිචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් ඇති එකඟබැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ නම් මෙය දෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විතර්කය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, දෙවන දැහැන නහමක් වරදව. දෙවන දැහැනෙහි සිත තබව. දෙවන දැහැනෙහි සිත එකඟ කරව. දෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 3.
සුඛ සූත්රය
350. තෙවන දැහැන තෙවන දැහැනය යි කියනු ලැබේ. තෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ ප්රීතියත් දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේ වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ඒ යමෙකු සඳහා ආර්ය්යයෝ කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ වෙසේ ද, මේ තෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම ප්රීතියත් දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේ වෙසෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳිමි. උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්ය්යයෝ ඒ යමකු සඳහා කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ප්රීතිය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, තෙවන දැහැන නහමක් වරදව. තෙවන දැහැනෙහි සිත තබව. තෙවන දැහැනෙහි සිත එකඟ කරව. තෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි ප්රීතියත් දුරලීමෙන් උපේක්ෂා ඇත්තේත් විසුවෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් වින්දෙමි. උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්ය්යයෝ ඒ යමකු සඳහා කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය” යි ඒ යමකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 4.
උපේඛා සූත්රය
351. සිවුවන දැහැනය සිවුවන දැහැනය යි කියනු ලැබේ. සිවුවන දැහැන කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ නම් මෙය සිවුවන දැහැන ය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට උපේක්ෂාව සහගිය හැඟීම් හා මෙනෙහිකිරීම් පහළවෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, සිවුවන දැහැන නහමක් වරදව. සිවුවන දැහැනෙහි සිත තබව. සිවුවන දැහැනෙහි සිත එකඟ කරව. සිවුවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සුවත් දුරුකිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.