3. 1. 2.
පුරිස සූත්රය
281. මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ. කවර පසෙකින් ද යත්: නො ද රූමත් වෙයි, නො ද භෝගවත් වෙයි, නො ද සිල්වත් වෙයි, අලසත් වෙයි, ඔහුට (දාව) ප්රජාව නො ද ලැබෙයි. මහණෙනි, මේ අඞ්ග පසින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් අමනාප වේ.
මහණෙනි, අඞ්ගපසෙකින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ. කවර පසෙකින් ද යත්: රූමත් ද වෙයි, භෝගවත් ද වෙයි, සිල්වත් ද වෙයි, අනලස් ව දක්ෂ ද වෙයි, ඔහුට (දාව) ප්රජාව ද ලැබෙයි. මහණෙනි, මේ පස්අඟින් යුත් පුරුෂ තෙමේ මාගමට ඒකාන්තයෙන් මනාප වේ යි.
3. 1. 3.
ආවේණිකදුක්ඛ සූත්රය
282. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් අනුභව කෙරේ නම් මාගමට උරුම වූ (එබඳු) මේ දුක් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙහි මාගම තුරුණු වූවා ම සැමිකුලයට යෙයි. නෑයන්ගෙන් වෙන් වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පළමුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ඔසප් ඇත්තී වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ දෙවෙනි දුක යි.
මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම ගැබිනි වෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ තෙවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම (දරුවන්) වදයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ සිවුවන දුක යි. මහණෙනි, නැවත අනෙකක් ද කියමි. මාගම පුරුෂයාගේ පරිචරියාවට එළඹෙයි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුකක් විඳී නම් මාගමට උරුම වූ මේ පස්වන දුක යි. මහණෙනි, පුරුෂයන් හැර මාගම යම් දුක් විඳී නම් මාගමට උරුම වූ දුක් පස මොහු යි.
3. 1. 4.
තීහි ධම්මේහි සූත්රය
283. මහණෙනි, දහම් තුනකින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර තුනකින් ද යත්: මහණෙනි, මෙහි මාගම පෙරවරු මසුරුමල නැග සිටි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, මද්දහන තරහ නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි, සවස කාම රාගය නැගි සිතින් යුතු ව ගෙහි වෙසෙයි. මහණෙනි, මේ තුන් දහමින් යුත් මාගම බෙහෙවින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට පැමිණේ යි.
3. 1. 5.
අනුරුද්ධ සූත්රය
284. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස, කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ දැ?යි.
අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ රහිත වෙයි, ලජ්ජා රහිත වෙයි, බිය රහිත වෙයි, කිපෙනසුලු වෙයි, නුවණ රහිත වෙයි. අනුරුද්ධ, මේ දහම් පසින් යුතු මාගම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණේ යි.