3. 1. 15.
පඤ්චවේර සූත්‍රය
294. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් යුක්ත වෙයි. අයිනාදනින් යුක්ත වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නී වෙයි. මුසා බණන්නී වෙයි. රහමෙර පානය කරන්නී වෙයි. මහණෙනි, මේ පස් දහමෙන් යුතු මාගම කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාතවූ නිරයට පැමිණේ යි.
පළමුවැනි මාතුගාමවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
මාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්මේහි, කොධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති, පඤ්චවේර ය යි සූත්‍ර පසළොසකි.
2. අනුරුද්ධ වර්‍ගය
3. 2. 1.
අනුරුද්ධ සූත්‍රය
295. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළ හ.
වහන්ස, මෙහි මම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සග ලොවට පැමිණෙන මාගමක මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දකිමි. වහන්ස කෙතෙක් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සගලොවට පැමිණේ දැ යි.
අනුරුද්ධ, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණෙ යි. කවර පසකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. අනුරුද්ධ, මේ පස් දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු යහපත් ගති ඇති සගලොවට පැමිණේ යි.
3. 2. 2.
අක්කෝධන සූත්‍රය
296. මහණෙනි දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 3.
අනුපනාහී සූත්‍රය
297. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. බැඳි වෙර නැති වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.