2. 3. 9.
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වේදනාව නො දනිත් ද, වේදනා සමුදය නො දනිත් ද, වේදනා නිරෝධය නො දනිත් ද, වේදනා නිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 10.
සුද්ධිකවේදනා සූත්‍රය
278. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක් නොසුව වේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි.
2. 3. 11.
නිරාමිස සූත්‍රය
279. මහණෙනි, සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතියක් ඇත. සාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවයෙක් ඇත. සාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාවක් ඇත. සාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂයෙක් ඇත.
මහණෙනි, සාමිසප්‍රීතිය කවර යත්: මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමැති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතුයුතු රූපය ... ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම්, මහණෙනි, මේ සාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය කවර යත්: මහණෙනි, රාගයෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිදුණු සිත පස්විකන මෝහයෙන් මිදුණු සිත පස්විකන රහත් මහණහට යම් ප්‍රීතියක් උපදී ද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතිය යි කියනු ලැබේ.
මහණෙනි, සාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මේ කම්ගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූපය. ... ඉටු කැමති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මහණෙනි, මේ සාමිස සුවය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස සුවය කවරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව මැ අකුසල්දහමින් වෙන් ව මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙයි. විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟබැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙයි. ප්‍රීතියත් දුරුකිරීමෙන් උපේක්‍ෂා ඇත්තේත් වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි. ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙයි. මහණෙනි, මේ නිරාමිස සුවය යි කියනු ලැබේ.
මහණෙනි, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය කවරේ ද යත්: මහණෙනි, රාගෙන් මිදුණු සිත පස්විකන දෝසයෙන් මිඳුණ සිත පස්විකන මෝහයෙන් මිඳුණ සිත පස්විකන රහත් මහණහුට යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම්, මහණෙනි, මෙය නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවය යි කියනු ලැබේ.