2. 3. 7.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ තුන් වේදනාවන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද, ... තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වෙසෙති යි.
2. 3. 8.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
276. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ තුන් වේදනාවන්ගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නොදනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 9.
තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
277. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ වේදනාව නො දනිත් ද, වේදනා සමුදය නො දනිත් ද, වේදනා නිරෝධය නො දනිත් ද, වේදනා නිරෝධගාමිනී පටිපදාව නො දනිත් ද, ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් යයි.
2. 3. 10.
සුද්ධිකවේදනා සූත්‍රය
278. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක් නොසුව වේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි.
2. 3. 11.
නිරාමිස සූත්‍රය
279. මහණෙනි, සාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියක් ඇත, නිරාමිස ප්‍රීතියට වඩා වැඩි වූ නිරාමිසතර ප්‍රීතියක් ඇත. සාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයෙක් ඇත, නිරාමිස සුවයට වඩා වැඩි වූ නිරාමිසතර සුවයෙක් ඇත. සාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවක් ඇත, නිරාමිස උපේක්‍ෂාවට වඩා වැඩි වූ නිරාමිසතර උපේක්‍ෂාවක් ඇත. සාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයෙක් ඇත, නිරාමිස විමෝක්‍ෂයට වඩා වැඩි වූ නිරාමිසතර විමෝක්‍ෂයෙක් ඇත.
මහණෙනි, සාමිසප්‍රීතිය කවර යත්: මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද යත්: ඉටු කැමැති මනවඩන ප්‍රියස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතුයුතු රූපය ... ඉටු කැමති මනවඩන ප්‍රිය ස්වරූප වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු පහස් ය. මහණෙනි, මොහු පස්කම්ගුණයෝ ය. මහණෙනි, මේ පස්කම්ගුණ නිසා යම් ප්‍රීතියක් උපදී නම්, මහණෙනි, මේ සාමිස ප්‍රීතිය යි කියනු ලැබේ.