2. 3. 4.
පුබ්බේ සූත්රය
272. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම චතුස්සත්යාවබෝධය නො කළ බෝසත් වූ මැ මට මේ සිත විය. වේදනා කවරහු ද, වේදනා සමුදය කවරේ ද, වේදනාසමුදයගමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේද, වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද, වේදනාවේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, ඒ මට මේ සිත විය: මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. තණ්හාව වේදනාසමුදයගමිනී පටිපදාව යි … වේදනායෙහි යම් ඡන්දරාගය දුරුකිරීමේක් ඡන්දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනායෙහි නිස්සරණ යි.
2. 3. 5.
ඤාණ සූත්රය
273. මහණෙනි, මොහු වේදනාවෝ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. විදු පහල විය. පැන පහළ විය. නැණ පහළ විය. එළිය පහළ විය. මහණෙනි, මේ වේදනා සමුදය ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය … එළිය පහළ විය. මහණෙනි, මේ වේදනාසමුදයගමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, මේ වේදනානිරෝධගාමිනී පටිපදාව ය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ ආස්වාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට … මහණෙනි, මේ වේදනාවේ ආදීනවය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ... මහණෙනි, මේ වේදනාවේ නිස්සරණ ය යි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
2. 3. 6.
සම්බහුලභික්ඛු සූත්රය
274. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනාසමුදය කවරේ ද? වේදනාසමුදයගාමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද? වේදනාවේ අස්වාදය කිමෙක් ද? ආදිනාවය කිමෙක් ද? නිස්සරණය කිමෙක් දැ? යි.
මහණෙනි, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා යි කියනු ලැබෙත්, ඵස්සසමුදයයෙන් වේදනා සමුදය ය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනී පටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ ... වේදනාවෙහි යම් ඡන්දරාගය දුරලීමෙක් යම් ඡන්දරාගය ප්රහාණයෙක් වේ නම් මෙය වේදනාවේ නිස්සරණ යි.
2. 3. 7.
සමණබ්රාහ්මණ සූත්රය
275. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ තුන් වේදනාවන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද, ... තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වෙසෙති යි.