2. 3. 2.
අට්ඨසතපරියාය සූත්‍රය
270. මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි, මා විසින් නය වශයෙන් වේදනා දෙකෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා තුනෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා පසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සයෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටළොසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සතිසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියෙකුදු කියන ලදී.
මහණෙනි, වේදනා දෙක කවරේ ද යත්: කායික වේදනාව ද චේතසික වේදනාව දැ යි. මහණෙනි, මොහු වේදනා දෙක යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා තුන කවරේ ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා ය යි. මහණෙනි, මොහු වේදනා තුන යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා පස කවරේද යත්: සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු වේදනා පස යයි කියනු කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සය කවරේ ද යත්: චක්ඛුසම්ඵස්සයෙන් හටගත් හටගත් වේදනා ය, සෝත … ඝාන … ජිව්හා … කාය … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා සය යයි කියනු ලැබෙත්.
මහණෙනි, වේදනා අටළොස කවරේ ද යත්: සොම්නස සමග හැසිරෙන සයය, දොම්නස සමග හැසිරෙන සයය, මැදහත් බව සමග හැසිරෙන සය යි. මහණෙනි, මොහු වේදනා අටළොස යි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සතිස කවරේ ද යත්: පස්කම් ගුණ ඇසුරු කළසොම්නස් සය ය, නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් සය ය, පස්කම් ගුණ අසුරුකළ දොම්නස් සය ය. නෙක්ඛම්මය ඇසුරුකළ දොම්නස් සය ය. පස්කම්ගුණ ඇසුරුකළ උපේක්‍ෂා සය යි. නෙක්ඛම්මය ඇසුරුකළ උපේක්‍ෂා සය යි. මහණෙනි, මොහු වේදනා සතිසැ යි කියනු ලැබෙත්. මහණෙනි වේදනා එක්සියඅට කවරේ ද යත්: අතීත සතිස් වේදනා ය, අනාගත සතිස් වේදනා ය, පච්චුප්පන්න සතිස් වේදනා යි. මහණෙනි, මොහු වේදනා එක්සිය අට යයි කියනු ලැබෙත්. මහණෙනි, මේ අට්ඨසතපරියාය නම් වූ දහම් නය යි.
2. 3. 3.
භික්ඛු සූත්‍රය
271. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය … එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය: වහන්ස, වේදනාවෝ කවරහු ද? වේදනා සමුදය කවරේ ද? වේදනා සමුදයගාමිනිපටිපදාව කවර ද? වේදනා නිරෝධය කවරේ ද? වේදනානිරෝධගමිනි පටිපදාවකවර ද? වේදනාවේ අස්සාදය කවරේ ද? ආදීනවය කවරේද? නිස්සරණය කුමක් දැ? යි.
මහණ, මේ වේදනා තුනෙකි. සුව වේදනා ය, දුක්වේදනා ය, මැදහත් වේදනා යි. මහණ, මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනා සමුදය වේ. තණ්හාව වේදනාසමුදයගාමිනිපටිපදාව යි. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමග ම වේදනානිරෝධගාමිනීපටිපදාව යි. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිස නම් දුක් නම් වෙනස්වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරැ කිරීමෙක් ඡන්‍දරාගය ප්‍රහාණයෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
2. 3. 4.
පුබ්බේ සූත්‍රය
272. මහණෙනි, සම්බෝධියෙන් පෙර ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝසත් වූ මැ මට මේ සිත විය. වේදනා කවරහු ද, වේදනා සමුදය කවරේ ද, වේදනාසමුදයගමිනී පටිපදාව කවර ද? වේදනානිරෝධය කවරේද, වේදනානිරෝධගාමිනී පටිපදාව කවර ද, වේදනාවේ ආස්වාදය කිමෙක් ද, ආදීනවය කිමෙක් ද, නිස්සරණය කිමෙක් දැ යි.
මහණෙනි, ඒ මට මේ සිත විය: මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා යි. මොහු වේදනා යි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. තණ්හාව වේදනාසමුදයගමිනී පටිපදාව යි … වේදනායෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමේක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනායෙහි නිස්සරණ යි.