269. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සටුතු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මොළියසීවක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. භවත් ගෞතමයෙනි, “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳි නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය” යි මෙබඳු වාද ඇති මෙබඳු දුටු ඇති ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් කියන සේක් දැ? යි.
සීවක, මෙහි පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ උපදිත්, සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු ය. සීවක, පිතින් හටගන්නා වූ ද ඇතැම් වේදනාවෝ යම්සේ මෙහි උපදිත් නම් මෙය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස්පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ මැදහත් වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොටගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ ය යි සම්මත නම් එයත් ඉක්ම යෙති. එහෙයින් ඒ මහණ බමුණන්ගේ (බස) මුසා ය යි කියමි.
සීවක, සෙමින් හටගන්නා වූ ද … සීවක, වාතයෙන් හටගන්නා වූ ද … සීවක, සන්නිපාතයෙන් හටගන්නා වූ ද ... සීවක, ඍතුවිපර්‍ය්‍යාසයෙන් හටගන්නා වූ ද … සීවක, විෂමපරිහරණයෙන් හටගන්නා වූ … සීවක, උපක්‍රමයෙන් හටගන්නා වූ ද … සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ද, ඇතැම් වේදනාවෝ මෙහි උපදිත්. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත් නම් මෙය තමා විසිනුදු දතයුතු යි. සීවක, කර්‍මවිපාකයෙන් හටගන්නා වූ ඇතැම් වේදනාවෝ යම් සේ මෙහි උපදිත්නම් එය ලෝවැසියන් විසිනුදු සැබෑ ය යි සම්මත ය. සීවක, එහි ලා යම් ඒ මහණ බමුණු කෙනෙක් “මේ පුරිස් පුඟුල් තෙමේ සුව වූ හෝ දුක් වූ හෝ නොදුක්නොසුව වූ හෝ යම් කිසි වේදනාවක් විඳී නම් ඒ සියල්ල පෙර කළ කම් හේතු කොට ගෙන ය”යි මෙබඳු වාද ඇත්තාහු නම් මෙබඳු දිටු ඇත්තාහු නම් (ඔහු) යමකුත් තමා විසින් දන්නා ලද්දේ නම් එයත් ඉක්ම යෙති. යමකුත් ලොව සැබෑ යයි සම්මත නම් එයත් ඉක්ම යෙති, එහෙයින් ඒ මහණ බමුණන්ගේ මුසා ය යි කියමි යි.
මෙසේ වදාළ කල්හි මොළිය සීවක පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරන සේක්වා”යි.
පිත ද සෙම ද වාතය ද සන්නිපාතය ද ඍතු ද විෂම පරිහරණය ද උපක්‍රමය ද කර්‍මවිපාකයෙන් අටවැන්න ද වේ යි.
2. 3. 2.
අට්ඨසතපරියාය සූත්‍රය
270. මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු, මහණෙනි, අට්ඨසතපරියාය නම් වූ දහම්නය කවරේ ද යත්: මහණෙනි, මා විසින් නය වශයෙන් වේදනා දෙකෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා තුනෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා පසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සයෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටළොසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා සතිසෙකුදු කියන ලදී, මා විසින් නය වශයෙන් වේදනා අටෝරාසියෙකුදු කියන ලදී.
මහණෙනි, වේදනා දෙක කවරේ ද යත්: කායික වේදනාව ද චේතසික වේදනාව දැ යි. මහණෙනි, මොහු වේදනා දෙක යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා තුන කවරේ ද යත්: සුව වේදනා ය, දුක් වේදනා ය, මැදහත් වේදනා ය යි. මහණෙනි, මොහු වේදනා තුන යයි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා පස කවරේද යත්: සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු වේදනා පස යයි කියනු කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සය කවරේ ද යත්: චක්ඛුසම්ඵස්සයෙන් හටගත් හටගත් වේදනා ය, සෝත … ඝාන … ජිව්හා … කාය … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනා යි. මහණෙනි, මොහු වේදනා සය යයි කියනු ලැබෙත්.
මහණෙනි, වේදනා අටළොස කවරේ ද යත්: සොම්නස සමග හැසිරෙන සයය, දොම්නස සමග හැසිරෙන සයය, මැදහත් බව සමග හැසිරෙන සය යි. මහණෙනි, මොහු වේදනා අටළොස යි කියනු ලැබෙත්. මහණෙනි, වේදනා සතිස කවරේ ද යත්: පස්කම් ගුණ ඇසුරු කළසොම්නස් සය ය, නෙක්ඛම්මය ඇසුරු කළ සොම්නස් සය ය, පස්කම් ගුණ අසුරුකළ දොම්නස් සය ය. නෙක්ඛම්මය ඇසුරුකළ දොම්නස් සය ය. පස්කම්ගුණ ඇසුරුකළ උපේක්‍ෂා සය යි. නෙක්ඛම්මය ඇසුරුකළ උපේක්‍ෂා සය යි. මහණෙනි, මොහු වේදනා සතිසැ යි කියනු ලැබෙත්. මහණෙනි වේදනා එක්සියඅට කවරේ ද යත්: අතීත සතිස් වේදනා ය, අනාගත සතිස් වේදනා ය, පච්චුප්පන්න සතිස් වේදනා යි. මහණෙනි, මොහු වේදනා එක්සිය අට යයි කියනු ලැබෙත්. මහණෙනි, මේ අට්ඨසතපරියාය නම් වූ දහම් නය යි.