1. 20. 4.
පාතාල සූත්රය
252. මහණෙනි, ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ මහමුහුදෙහි පාතාලයෙක් ඇති යි මෙබඳු වචනයක් කියයි. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ නැති නො පෙනෙන (තැනක් ගැන) මහමුහුදෙහි පාතාලයෙක් ඇතැ යි මෙසේ මේ වචනය කියයි. මහණෙනි, පාතාල යන මෙය ශරීරයෙහි හටගන්නා දුක්වේදනාවන්ට නමෙකි. මහණෙනි, නූගත් පුහුදුන් තෙමේ ශරීරයෙහි හටගත් දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක කෙරෙහි. ක්ලාන්ත වෙයි. හඬයි ලෙහි පහරමින් හඬයි. මුළාවට පැමිණෙයි. මහණෙනි, මේ නූගත් පුහුදුන් තෙමේ පාතාලයෙහි නො පිහිටියේ ය. පිහිට ද නො ලැබුවේ යයි කියනු ලැබේ. මහණෙනි, උගත් අරීසවු තෙමේ ශරීරයෙහි හටගත් දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නොකෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො හඬයි. ලෙහි පහරමින් නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණෙනි, මේ ශ්රැතවත් ආර්ය්යශ්රාවක පාතාලයෙහි පිහිටියේ ය. පිහිටි ද ලැබුයේ යි කියනු ලැබේ.
යමෙක් යමකින් පහස්නා ලද්දේ සැලේ ද ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා නො ඉවසා ද.
දුබල වූ නුවණ ඇති මඳ වූ ඥානශක්ති ඇති හෙතෙමේ හඬයි වැලපෙයි. පාතාලයෙහි නො පිහිටයි යළි පිහිටකුදු නො ලැබුයේ ය.
යමෙක් යමකින් පහස්නා ලද්දේ නො සැලේ ද, ශරීරයෙහි වූ දිවි තොර කරන ඒ උපන් දුක් වේදනා ඉවසා ද, හෙතෙමේ පාතාලයෙහි පිහිටයි. යළි පිහිට ද ලැබුයේ යි.
1. 20. 5.
දට්ඨබ්බ සූත්රය
253. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි. මහණෙනි, සුවවේදනාව දුක් විසින් දැක්ක යුතු ය. දුක්වේදනාව හුල් විසින් දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිස විසින් දැක්ක යුතු ය.
මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිස විසින් දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
යමෙක් සුවවේදනාව දුක් විසින් දිටි ද, දුක්වේදනවා හුල් විසින් දිටි ද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිස විසින් දිටි ද.
මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ කාබුන් මරණින් මතු පැනවීමට නො පැමිණේ යි.
1. 20. 6.
සල්ල සූත්රය
254. මහණෙනි, අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, ඇසු පිරූ තැන් ඇති අරීසවු ද සුවවේදනාවත් විඳියි. දුක්වේදනාවත් විඳියි. නොදුක්නොසුව වේදනාවත් විඳියි. මහණෙනි, එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා ඇසු පිරූ තැන් ඇති අරිසවුගේ වෙසෙස කිමෙක් ද? අදහස කවරේ ද? වෙනස කිමෙක්දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ, මුල් කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මේ දේශනාවේ අරුත භාග්යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂුහු දරන්නාහ යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.