10. 1. 9.
කුතූහලශාලා සූත්‍රය
2284. එකල්හි වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: භවත් ගෞතමයෙනි, පළමු ඉතා පළමු දවස්හි කුතූහල ශාලාවෙහි එක් රැස්ව හුන් බොහෝ වූ නන්තොටු මහණ බමුණු පිරිවැජ්ජයන් අතර මේ අතුරු කථාව පහළ විය.
මේ පූරණකස්සප තෙමේ සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හෙතෙමේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරිස වූ පරමපුරිස වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ ද, ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ”යි උපත්හි ලා පවසයි.
මේ මක්ඛලී ගෝසාල තෙමේත් ... මේ නිගණ්ඨනාතපුත්ත තෙමේත් ... මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත තෙමේත් ... මේ පකුධකච්චායන තෙමේත් ... මේ අජිතකේසකම්බල තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උත්තමපුරුෂ වූ පරමපුරුෂ වූ උතුම්පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා ද “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා පවසයි.
මේ මහණ ගොයුම් තෙමේත් සමූහයා ඇත්තේ ද ගණයා ඇත්තේ ද ගණයාට ඇදුරු වූයේ ද ප්‍රසිද්ධ වූයේ ද යසස් ඇත්තේ ද ලබ්ධි පහළ කරන්නේ ද බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත ද වෙයි. හේ ද “අසෝ පුඟුලා අසෝ තැන්හි උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි ඉකුත් වූ කලුරිය කළ සව්වා උපත්හි ලා පවසයි. උතුම් පුරුෂ වූ පරම පුරුෂ වූ උතුම් පියට පැමිණි ඔහුගේ යම් සව්වෙකුත් වේ නම් ඉකුත් කලුරිය කළ ඒ සව්වා “අසෝ පුඟුලා අසෝ තැන උපන, අසෝ පුඟුලා අසෝ තැන උපනැ” යි උපත්හි ලා නො පවසයි. වැලි දු “තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලුසුන් කෙළේ ය. මැනවින් මානය දුර ලීමෙන් දුක් කෙළෙවර කළේ” ය යි ඔහු ගැන මෙසේ පවසයි. භවත් ගෞතමයෙනි, ඒ මට කෙසේ නම් මහණගොයුම්හුගේ දහම දතයුතු දැ යි, සැකයෙක් වූයේ ම ය. විමතියෙක් වූයේ ම ය.
වච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයෙනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද, එයට මම වාතූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි සුළඟ එයට උපාදාන වේ යි.
භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්‍වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.